අලුත් ජනතාවක් පත්කරගමු!

අද දෙසැම්බර් මාසයේ දහවෙනිදා. නොවැම්බර් පළවෙනිදා ලිවූ සටහනින් පසු නැවත අන්තර්ජාලයට ලියන්නේ අද. කොතරම් උවමනාවක් ලියන්නට තිබුනත් නොයෙකුත් හේතූන් සහ මගේම කම්මැලිකම නිසා ලියන්නට නොසිතෙනා තරම්. බොහෝ කාලයකට පසු දේශපාලන නිද්‍රාවෙන් බහුතරයක් ශ්‍රී ලාංකිකයන් අවදි වී ඇති බව දැකීමත් සතුටක්. මහ පාරේ දකින සංවර්ධනය හෝ හැමදාම කතා කරන යුද්ධයෙන් එහාට ගිහින් මේ රටේ මිනිස්සු යහපාලනය, පුද්ගල නිදහස, කතාකිරීමේ, සිතීමේ සහ ආදරය කිරීමේ නිදහස ගැන කතා කරනවා දැකීම කොච්චර සතුටක්ද?

මහින්ද රාජපක්ෂ මේ රට වෙනුවෙන් ගොඩක් දේවල් කරල තියෙනවා. නමුත් ඔහු සතුව ඇති අසීමිත බලය මැද පෙරදිග රජෙකුගේ තරම් වීම රටේ අනාගතයට එතරම් හොඳ නැහැ. ලබන ජනවාරි අට වෙනිදා ඔහුට නැවතත් බලය ලැබුනත්, ලංකාවෙ ඉහළ සහ පහළ මධ්‍යම පන්තියේ ඇතිවෙලා තියෙන පුද්ගල නිදහස හා යහපාලනය පිළිබඳ කතිකාවෙන් ඉල්ලා සිටින ව්‍යවස්ථාමය සංශෝධන නොගෙන ආවොත්, මේ රට නැවතත් තරුණයින්ගේ ලේ වලින් නැහැවෙයි කියන ප්‍රශ්නය අපි කාටත් තියෙනවා.

ඉතින් මේ ඉල්ලා සිටින ව්‍යස්ථාමය සංශෝධන අවම වශයෙන් මේ ධූර කාලයේදීම ලබා නොදීම නිසා අපිට ඊළඟ ධූර කාලයෙන් ඒ දේවල් ලැබෙයි කියල බලාපොරොත්තුවෙන්න බෑ. ඒ වගේම මීට කලින් බලයට පැමිණි හැමදෙනාම – මෛත්‍රීපාල සිරිසේනගේ සහයක චන්ද්‍රිකා පවා – බලයට පත්වෙද්දී ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය පිළිබඳ දුන් පොරොන්දු ඉටු නොකිරීම නිසා තමයි අද මේ වගේ දෙයක් ඇතිවෙලා තියෙන්නෙත්. නමුත් පශ්චාත් යුද සමයේ ශ්‍රී ලංකාව තුළ යහපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේ හොඳම අවස්ථාවක් මේ රටේ මිනිසුන්ට ලැබී තිබෙනවා. මේ මැතිවරණය එහි එක අවස්ථාවක් පමණයි. හදීසියේ හෝ පොදු විපක්ෂය පැරදුනොත් (පැරදෙන්න හේතු පසුව කියන්නම්) එළඹෙන කුමන හෝ ආණ්ඩුවකට සිදු විය යුතු වෙනස්කම් සිදු කිරීම සඳහා බලකිරීමට ජනතාව පෙළගැසීමයි වැදගත්.

ඒ අවශ්‍ය වෙනස කිරීම වෙනුවෙන්, පොරොන්දු වලට විතරක් ඉඩ නොදී ක්‍රියාව සඳහා බල කරන අලුත් ජනතාවක් ලබන අටවෙනිදා වෙද්දී අපි පත්කරගමු.

නැවත නැවතත් #පරිවර්තනයකි

මට මතකයි ඇඳවල් අවකාශයේ පාවෙන හැටි තවමත්…

පොඩිකාලෙදී මගෙ අම්මා මට මෙහෙම කියල දීල තියෙනවා.
ඔයා යමක් නැවත නැවතත් පුනරුච්ඡාරණය කරොත්,
එහි තේරුම වැඩකට නැති වෙනවා.
ඒ කියන්නේ…
“ගෙදරවැඩ, ගෙදරවැඩ, ගෙදරවැඩ, ගෙදරවැඩ,
ගෙදරවැඩ, ගෙදරවැඩ, ගෙදරවැඩ, ගෙදරවැඩ, ගෙදරවැඩ…”
දැක්කද? කිසි අගයක් නෑ.

ඈ කියපු විදිහට අපේ පැවැත්මත්, ඒ වගේ.
ඔයා හැමදාම ඉර බැහැගෙන යනව බලාගෙන හිටියොත් ඒක නිකම්ම නිකම් හවස 6 වෙනවා.
ඔබ එකම වැරැද්ද දිගටම දිගටම කරොත්, ඔයාට ඒක වැරැද්දක් කියල අමතක වෙනවා.
ඔයා හැමදාම උදේ නිකම්ම නිකන්,
“අවදිවුනොත්, අවදිවෙුනොත්, අවදිවුනොත්,
අවදිවෙුනොත්, අවදිවුනොත්, අවදිවෙුනොත්…”

ඔයාට අමතකවෙයි ඇයි අවදිවුනේ කියලත්.

එයා කිව්ව, මොන දෙයක්වත් සදාකාලික නෑ කියල.

මගේ දෙමව්පියන් දික්කසාද වුනේ මට අවුරුදු හතේ දී.
හරියට නිකන් මව් යානයෙන් එළියට දාපු අජඨාකාශගාමියෙක් වගේ,
එයාලගෙ අන්තිම රණ්ඩුවට කලින් මාව යැව්ව අසල්වැසි ගෙදරකට.

ඉතින් මම ආයෙ ගෙදර එනකොට ගෙදර නෑ කිසිම ගුරුත්වාකර්ෂණයක්.
ඇඳවල් අහසෙ පාවෙන්න අරන්.
මම ගෙදරින් යනකොට මට මතකයි ඒ දෙන්න දෙන්නට “මම ඔයාට ආදරෙයි” කියාගන්නව.
නැවත නැවතත් – නැවත නැවතත්…
ඉතින් ඒ දෙන්නට ආදරේ තේරුම වැඩකට නැති නොවෙන එක පුදුමයක් නොවෙයි නේද?

පවුල, පවුල, පවුල, පවුල, පවුල, පවුල…
පොඩිකාලෙදී මගෙ අම්මා මට මෙහෙම කියල දීල තියෙනවා.
ඔයා යමක් නැවත නැවතත් පුනරුච්ඡාරණය කරොත්,
එහි තේරුම වැඩකට නැති වෙනවා.
ඒක අන්තිමේ මගේ ප්‍රියතම ක්‍රීඩාවත් වුනා.
වචනවල සංවේදනා නැත්තටම නැති කරල වාශ්ප කරල දමන්න ඒකට පුලුවන් වුනා.

හැරයාම, හැරයාම, හැරයාම…
දැක්කද? මුකුත් නෑ.
වෙන්වීම, වෙන්වීම, වෙන්වීම…
මුකුත් දැනෙන්නෙ නෑ නේද?

මම දැන් බොහෝ තුවාල වූ නිර්මාණ ශිල්පියෙක්*
වචන එක්ක හැමදාම වැඩ කරන.
වහගනින් කට! ඇනුම්පද හොඳට පුරුදුයි මට

භාෂාව හොඳින් හසුරුවන්න නම්, වචන කියන්නෙ මහ ලොකු දෙයක් නෙවෙයි කියල දැනෙන්න
භාෂාව කොටස්වලට කැඩිය යුතුයි කියල
මම ඉගෙනගත්ත.

මම ඔයාට ආදරෙයි, මම ඔයාට ආදරෙයි, මම ඔයාට ආදරෙයි,
මම ඔයාට ආදරෙයි….
දැක්කද? මුකුත් නෑ…

දෙමව්පියන්ගෙ දික්කසාදයෙන් පස්සෙ මම නොදැනුවත්වම ගොත ගහන්න පටන්ගත්තා.
දෛවය කියන්නෙ මහ අන්තිම දරුණු සහ දක්ෂ ගුරුවරයෙක්.
ගොතගැහිල්ලෙන්නම් මට ගැලවීමක් තිබුනේම නෑ.
පිටකරන්න හදන හැම වචනයකම තේරුම උගුර ළඟටම ඇදෙනවා දැනෙනකොට…
වෙඃ-වෙඃ-වෙඃ-වෙන්වීම…

ගොතගැහිල්ල හරියට නිකන් කණ්ණාඩිවලින් හදපු හිර ගෙයක් වගේ.
“ඔයා හොඳින්ද” අහන හැමපාරම..
“මොකක්ද ඔයා කිව්වෙ” අහන හැමපාරම…
“උත්සාහ කරලා කටෙන් එළියට දාන්න දරුවා ඕක” කියන හැමපාරම…
තමන්ගේම ඒ ප්‍රතිබිම්භයෙන් තමන්ටම ගැලවීමක් නැතිකොට?

අම්මේ, තාත්තේ,
මම තවදුරටත් වචන නාස්ති කරන්නෙක් නෙවෙයි.
ගොත ගැහිල්ලෙන් ගැලවෙන්න පැය සිය දහස් ගණනක් පුරුදු වුනත්,
තවම ඒ වචනවල තේරුම් උගුර ළඟටම ඇවිත් පහුරු ගානවා.

මට තවමත් හිස් අවකාශයෙන් ඇහෙනවා…
“මඃ-මඃ-මඃ-මං ඔයාට ආදරෙයි…”

–පරිවර්තනය අවසන්–

මේ ලිපිය ඇමරිකානු තරුණ ලේඛක “ෆිල් කායි” (Phil Kaye) ගේ නිසඳැසක තරමක් අසම්පූර්ණ පරිවර්තනයක්. සම්පූර්ණ ලියවිල්ල සහ මූලාශ්‍රය මෙතැන තියෙනවා. මෙය පරිවර්තනය කිරීමට සිත්ගත්තේ අහම්බෙන් මුනගැහුන මෙම නිසඳැසේම වීඩියෝ ඉදිරිපත්කිරීමක් දැකලා. ඒ ඉදිරිපත් කිරීම කරන්නෙත් “ෆිල් කායි” විසින්මයි. මේ තියෙන්නේ ඒක.

Phil Kaye සහ Sarah Kay විසින් ඉදිරිපත් කරනා තවත් නිසඳැසක් මේ. ඒක නම් ආදරය ගැන. 🙂

පසු ලිවීම

ඉංග්‍රීසි සහ සිංහල භාෂා භාවිතයේ ඇති දුර්වලතා නිසා හොඳ පරිවර්තනයක් ඉදිරිපත් කරලා නැති බව මට වුනත් කියන්න පුලුවනි. ඉතින් ඒකයි මට ඔබේ උදව් ඕන. ඔබට වේලා තියෙනවානම්, මේ සටහනේ ඇති භාෂා දෝශ comment කරලා කියන්න. එහෙම නැතිනම් මුල් සටහන සමඟ සසඳලා වැරදි පරිවර්තන නිවැරදි කරන්නට උදව් වෙන්න. ස්තූතියි. 🙂

මගේ පළමු සටහන

අන්තර්ජාලයට ලිවීම කියන්නේ අලුත් දෙයක් නොවුනත්, මේ “ගමනක අතරමැද සටහන්” සඳහා මා අලුත්. කාලයක් නොලියා සිටීම සහ පරිගණක කේත අතර සිරවී සිතීම නිසා මගේ ලිවීම බොහොම දුර්වලයි. නමුත් මේ උත්සාහය නැවත ලිවීම ඇරඹීමටයි.

මම සුදාරක. එහෙම නැතිනම් සූ. මට හිටපු ළඟම මිතුරියක් මට කිව්වෙ එහෙමයි. ඉතින් ඇයව මතක තබාගැනීම සඳහා මේ සටහන් ලියන්නේ ඒ නමින්. වරදවා වටහාගන්න එපා. මිතුරියක් කිව්වාට ඇය මගේ පෙම්වතිය නොවෙයි.

මම දැනට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ තොරතුරු තාක්ෂණ ප්‍රථම උපාධියේ දෙවෙනි වසර හදාරමින් සිටිනවා. ඒ අතර SinhalaQuotes ෆේස්බුක් පිටුවත් ලිෂාන් එක්ක කරගෙන යනවා. අද ඉඳල මේ සටහන් ලියන්නෙත් මම. මගේ ලිවීම බොහොම දුර්වලයි. ඉතින් වැරදි පෙන්වාදීම ඉහළින් අගය කරනවා.

මම “සූ” කියල ලියනවට “හඳ බිඳි සර” ලියපු සූ අක්ක තරහ නැතිව ඇති.